අහසින් අන්තර්ජාලය.....
නවීන ලෝකයේ අන්තර්ජාලය කියන්නේ එදිනෙදා ජීවිතය සමගින් ඉතාමත් තදින් බැඳී ඇති තාක්ෂණික යෙදුමක්. 2000 - 2010 දශකය තුලදී එහි ග්රාහකයන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි උනා. ඒ වගේ ම ජීවිතයට නැතිවම බැරි යෙදුමක් වෙන තරමට අන්තර්ජාල අංගයන් වැඩි දියුණු උනා.
නමුත් ලෝකයේ තුනෙන් දෙකකට (2/3) අන්තර්ජාල පහසුකම් නැති වග ඔයාලා ඇහුවොත් පුදුම වෙනවද? ඒ තමයි ලෝකයේ සත්‍ය තත්ත්වය. ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයින් එක්කෙනෙකුට දෙදෙනෙකු බැගින් අන්තර්ජාල පහසුකම් නොමැතිව වාසය කරනවා. ඒ සඳහා ආර්ථිකමය, භුගෝලමය, දේශපාලනික, හේතු බලපානවා.
මේ සියල්ල අභිබවමින් සැමට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින් Google සමාගම විසින් Google Loon ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා. මෙහිදී පාවිච්චි කරන්නේ වායුගෝලයේ පාවෙන බැලුන් සමුහයක්.
ගූග්ල් බැලුන්
මීටර 15ක පමණ විෂ්කම්භය ඇති පොලිඑතිලින් වලින් තැනු විශාල බැලූන මෙහිදී යොදා ගන්නවා. මෙහි සම්පූර්ණ උස මීටර 12ක් පමණ වෙනවා. මෙම බැලූන වලට සවි කර ඇති උපාංග සඳහා විදුලිය ලබා ගන්නේ සුර්ය ශක්තියෙන්. මෙහිදී බැලූන පොළෝ මට්ටමට කිලෝ මීටර 20ක් පමණ ඉහලින් ඇති අපරිවර්තී ගෝලය (stratosphere) ඔස්සේ සුළගේ පාවී යාමට ඉඩ හරිනවා. ඒ කියන්නේ අහස් යානා ගමන් කරන උසටත් වඩා ඉහලින්. ඒ හින්ද බැලූන පියවි ඇහැට පෙනෙන එකක් නම් නැහැ.